Monday, February 9, 2009

සරල කළ අලෙවිකරණ සංකල්ප

  1. ප්‍රිය සාදයකදී ඔබ සුරූපී තරුණියක් දකී. ඇය වෙත යන ඔබ, “මම පොහොසතෙක්. මා සමග විවාහ වන්න” යයි ඇයට පවසයි. එය සෘජු අලෙවිකරණයයි.
  2. මිතුරන් සමග ප්‍රිය සාදයක සිටින ඔබ සුරූපී තරුණියක් දකී. ඇය අසලට යන ඔබේ මිතුරෙක්, ඔබ දෙසට ඇඟිල්ල දික්කර මෙසේ පවසයි. “අරය ලොකු පොහොසතෙක්, ඔහු සමග විවාහ වුණොත් නරකද?” එය වෙළඳ ප්‍රචාරණයයි.
  3. ප්‍රිය සාදයකදී ඔබ සුරූපී තරුණියක් දකී. ඇය වෙත යන ඔබ ඇගේ දුරකථන අංකය ඉල්ලා ගනී. පසු දින ඇයට ඇමතුමක් ගන්නා ඔබ “මම ලොකු ධනවතෙක්. මා සමග විවාහ වෙන්න ඔබේ අදහසක් නැද්ද?”යි ඇගෙන් විමසයි. එය ටෙලි අලෙවිකරණයයි.
  4. ප්‍රිය සාදයකට සහභාගි වෙමින් සිටින ඔබ සුරූපී කාන්තාවක් දකී. අසුනෙන් නැගිටින ඔබ ටයි පටිය සකසමින් ඇය වෙත ගොස් ඇය ඉදිරිපිට ඇති බඳුන මධුවිතින් පුරවයි. පසුව ඇයට නැඟිමට ඔබේ කාරයේ දොර විවෘත කර දෙයි. ඇය අතින් වැටෙන ඇගේ බෑගය අහුලා දෙයි. ඇය නිවසට ඇරලන ඔබ ඇයට මෙසේ පවසයි. “මං පොහොසතෙක්, ඔබ මගේ අත ගන්න කැමතිද?” එය මහජන සම්බන්ධතාවයයි.
  5. ප්‍රිය සාදයකට සහභාගි වෙමින් සිටින ඔබ සුරූපී කාන්තාවක් දකී. ඔබ අසලට පැමිණෙන ඇය “ඔබ ලොකු පොහොසතෙක් වාගෙයි පෙනෙන්නෙ, මගේ අත ගන්න ඔබ කැමතිද?”යි අසයි. එය සන්නම් හඳුනාගැනීමයි.
  6. ප්‍රිය සාදයකදී ඔබ සුරූපී කාන්තාවක් දකී. ඇය වෙත යන ඔබ “මං ලොකු පොහොසතෙක්, මා සමග විවාහ වෙන්න” යැයි පවසයි. අසුනෙන් නැගිටින ඇය ඔබට වේගවත් කම්මුල් පහරක් දෙයි. එය ගනුදෙනුකරුගේ ප්‍රතිචාරයයි.
  7. ප්‍රිය සාදයකදී සුරූපී කාන්තාවක් දකින ඔබ ඇය වෙත ගොස්, “මං ලොකු පොහොසතෙක්. මා සමග විවාහ වෙන්න”යි පවසයි. එවිට ඇය ඇගේ සැමියා ඔබට හඳුන්වා දෙයි. එය ඉල්ලුම හා සැපයුම අතර ඇති හිඩැසය.
  8. ඔබ ප්‍රිය සාදයකදී සුරූපී තරුණියක් දකී. ඇය අසලට යන ඔබ ඇයට යමක් පැවසීමට සැරසෙත්ම, ඇය අසලට පැමිණෙන වෙනත් තරුණයෙක්, “මම පොහොසතෙක්. ඔබ මා සමග විවාහ වෙන්න” යයි පවසයි. එවිට ඇය ඔහු සමග යයි. එය තමන්ගේ වෙළඳපොල කොටස වෙනත් තරඟකරුවකු විසින් අත්පත් කරගැනීමය.
  9. ඔබ ප්‍රිය සාදයකදී සුරූපී තරුණියක් දකී. ඔබ ඇය වෙත ගොස්, “මම පොහොසතෙක්, මා සමග විවාහ වෙන්න” යැයි පැවසීමට මත්‍තෙන් ඔබේ බිරිඳ එතැනට පැමිණේ. එය නව වෙළඳපොළවලට ඇතුළත් වීමට ඇති බාධාවන්ය.

Sunday Island ඇසුරෙනි.

කේ.එන්.ඕ.අමරදාස – පෙබරවාරි 08 වැනි ඉරිදා දිවයින

0 අදහස් දැක්වීම්:

Post a Comment

ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.